Life
දිරන්නේ නැති බත් කොළය වෙනුවට කන්නට හැකි කිරි කොළයක්
අම්මේ මෙන්න මල්ලි චීස් කෑල්ල ඔතලා තියෙන ඉටි කොළයත් එක්කම කනවා…” නෙත්මි කේළම කියූ සැණින් දිව ආ රුවිනි පුංචි පුතාගේ කටේ තිබුණු ඇසුරුම් කොළ කැබැල්ල ඉවතට ගත්තාය.
“”අනේ පුතා…. ඔයාට කී පාරක් නම් කියලා තියෙනවාද ඔය පොලිතින් කොළ කන්න හොඳ නෑ කියලා. ඕවා කෑවාම ළමයි ලෙඩ වෙනවා.” රුවිනි දේශනාව පටන් ගත්තාය.
“ඇයි අම්මේ ඔය පොලිතින් නිසා පරිසරයත් දූෂණය වෙනවානේ….” නෙත්මි කතාවට තවත් යමක් එකතු කළාය.
“ඉතින් අම්මේ චීස් කෑල්ලෙ ගෑවි ගෑවි තියෙන කොළේ නරක නම් ඒකෙ ගෑවුණු චීස් කෑල්ල විතරක් හොඳ වෙයිද?” පුංචි රසාන්ජන් ඇසූ ප්‍රශ්නයට රුවිනි ළඟ උත්තරයක් නැත.
දැන් අපි ඊට පිළිතුරක් සොයමු.
ප්ලාස්ටික් භාණ්ඩ භාවිතයේදී ඒවායෙහි ප්‍රමිතිය පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් විය යුතු බවට මීට ඉහත ලිපි කිහිපයකින්ම ඔබ හමුවේ කරුණු දැක්වූයෙමු. කොතරම් කීවත් ප්ලාස්ටික් භාවිතය මුළුමනින්ම නවතාලන්නට හැකියාවක් අපට නැත. ඒ සියලු ඇසුරුම් අවශ්‍යතා කඩදාසි කොළ කෙසෙල් කොළ ආදියෙන් පමණක් සපුරාලන්නට නොහැකි බැවිනි.
සකස් කළ ආහාර සම්බන්ධයෙන් ගත් කල තත්ත්වය ඊටත් වඩා බරපතළය. මන්ද චීස්, බටර් ඇතුළු සියලු ආහාර ද්‍රව්‍ය ඇසුරුම්කරණයේදී ප්ලාස්ටික් පොලිතින් ද්‍රව්‍ය නැතිවම බැරිය. ඉතා සියුම් ප්ලාස්ටික් පටල (ලන්ච් ෂීට්) මගින් බැලූ බැල්මට ආරක්ෂාවක් ඇති බව පෙනුණත් ඒවායින් අසුරා තැබෙන ආහාර පවා කල්යැමේදී නරක් වේ. එපමණක් නොව ඇතැම් ප්ලාස්ටික් ඇසුරුම්වලින් ආහාරය තුළම විෂ රසායනික කාන්දුවීමේ ඉඩකඩක්ද පවතී.
මේ සියල්ලටම වඩා දිනපතා පරිසරයට එකතු වන විවිධාකාර ප්ලාස්ටික් පොලිතින් කන්දරාවෙන් සිදුවන පාරිසරික විනාශය අනාගත ලෝකයට තර්ජනයකි. මන්ද මේවා ස්වභාවිකව දිරාපත් නොවේ. ඇතැම් ඇසුරුම් ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීය කළ නොහැක.
ඉහත ගැටලු සියල්ලටම විසඳුමක් ගෙන දෙන ඇසුරුම් ද්‍රව්‍යයක් හඳුන්වා දෙන්නට ඇමෙරිකාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තු පර්යේෂකයෝ සමත්ව සිටිති. ඇමෙරිකා රසායන සමාජයේ (American Chemical Society) 252 වැනි ජාතික සමුළුවේදී නව ඇසුරුම් ද්‍රව්‍යය ප්‍රදර්ශනය කරනු ලැබිණි. එය කිරි ප්‍රෝටීන ඇසුරින් නිපදවන ලද ස්වභාවික ජීර්ණය වන එසේම ආහාරයට ද ගත හැකි ඇසුරුම් ද්‍රව්‍යයකි.
“මේ ප්‍රෝටීන මත පදනම් වූ ඇසුරුම් පටලය තුළ ආහාර කුණුවීම, නරක්වීම වළක්වාලන බලගතු ඔක්සිජන් අවහිරකාරක (Oxygen Blockers) ඇතුළත්. මේවායින් ඇසුරුම් කළ විට බෙදාහැරීමේදී ආහාර නාස්තිවීම වළක්වා ගත හැකියි. පර්යේෂණය මෙහෙයවූ ආචාර්ය පෙගී ටොමාසුලා පවසයි.
ආහාර නරක්වීම යනු ඇසුරුම්කරණයේ එක් ගැටලුවක් පමණි. දැනට ආහාර ඇසුරුම් කිරීම පිණිස යොදා ගැනෙන ද්‍රව්‍ය නිපදවනු ලබන්නේ පෙටේරාලියම් මූලික ද්‍රව්‍යවලිනි. එය තිරසාරව පවත්වාගත හැක්කක් නොවේ. දිරාපත් වන්නේද නැත. අපද්‍රව්‍ය කඳු සෑදෙන්නේ එබැවිනි. ආචාර්ය ටොමාසුලා ඇතුළු කණ්ඩායම කිරිවල අඩංගු කේසීන් (Casien) නම් ප්‍රෝටීනය ඇසුරින් පරිසර හිතකාමී ඇසුරුම් පටකය නිර්මාණය කළහ. කේසීන් යොදාගෙන නිෂ්පාදනය කරන ලද ඇසුරුම් පටලය ආහාර ද්‍රව්‍යවලින් ඔක්සිජන් ඈත් කොට තැබිමේදී සාමාන්‍ය පොලිතින් ඇසුරම් මෙන් 500 ගුණයක් කාර්යක්ෂමය. කිරි ඇසුරින් නිපදවන ලද නිසා මේවා ස්වභාවිකව දිරාපත් වෙයි. එමෙන්ම මිනිසාට පහසුවෙන් ජීර්ණය කළ හැකිය.
දැනටමත් ආහාරයට ගත හැකි ඇසුරුම් ද්‍රව්‍ය වෙළෙඳපොළ පවතී. ඒවා පිෂ්ටය ඇසුරින් නිපදවන ලද ඇසුරුම්ය. කෑමට හැකි වුවත් සවිවර ගතිය වැඩි නිසා ඔක්සිජන් වායුව ආහාරවලින් ඈත් කොට තැබිමේ හැකියාව අඩුය. කෙසේ වෙතත් කිරිවලින් සාදන පටලයෙහි ක්ෂුද්‍ර සිදුරු (Micro holes) කුඩා නිසා ඔක්සිජන් ආහාරයට ළඟාවීම මගහැරේ. පර්යේෂකයන් මුලින් සෑදූ ඇසුරුම් ද්‍රව්‍යයට පිරිසිදු කේසීන් පමණක් අඩංගු විය.
එය ජලයේ දියවන ස්වභාවයත් දෘඪ ගතියත් නිසා සාර්ථක නොවීය. පසුව කේසීන් සමග සිටුස් පෙක්ටින් මුසු කොට සාර්ථක ඇසුරුම් පටලයක් සාදන ලදී. එය ශක්තියෙන් වැඩි වූ අතර ජල වාෂ්පවලටත් තාපයටත් ඔරොත්තු දෙයි.
අවසන් වශයෙන් නිෂ්පාදිත ද්‍රව්‍යය සාමාන්‍ය වෙළෙඳපොළේ පවතින පොලිතින් වැනි ආහාර ඇසුරුම් පටලවලට සමානකම් දක්වයි. එහෙත් එහි ඇදෙනසුලු ස්වභාවය අඩුය. එය ආහාරයටද ගත හැකිය. එහි කිසිදු රසයක් නැතත් අවශ්‍ය නම් රසයක් එකතු කළ හැකි බව පර්යේෂකයෝ කියති.
“දැන් අපේ උත්සාහය වී තිබෙන්නේ එක්වරක් පමණක් භාවිත කළ හැකි ආහාරයටද ගත හැකි ඇසුරුම් ද්‍රව්‍යයක් තැනීමයි. උදාහරණයක් වශයෙන් දැනට චීස් පෙති ආවරණය සඳහා විශාල ප්‍රමාණයකින් ප්ලාස්ටික් භාවිත වෙනවා. ඒ තත්ත්වය වෙනස් කරන්නටයි අපට ඕනෑ.” පර්යේෂණයේ සහාය නියමු ලැටීෂියා බොනාලී පවසයි. කාබන් හා ෆ්ලෝරීන් පමණක් ඇති ඇසුරුම් ද්‍රව්‍ය මෑතකදී ඇමෙරිකාවේ ආහාර හා ඖෂධ පාලනාධිකාරිය විසින් තහනම් කරන ලදී. එම නිසා ඉදිරියේදී කේසීන් යෙදූ ඇසුරුම් ඊට විකල්පයක් වනු ඇත.
ආචාර්ය බොනාලි සඳහන් කරන අන්දමට දැනටමත් ටෙක්සාස්හි කුඩා සමාගමක් වෙනුවෙන් කේසීන් ආහාර ඇසුරුම් පටල නිපදවනු ලැබේ. තවදුරටත් ඇසුරුම් ද්‍රව්‍යය සංවර්ධනය කිරීමෙන් පසු ඉදිරි අවුරුදු තුන ඇතුළත කේසීන් යෙදූ ඇසුරුම් පටල මහා පරිමාණයෙන් වෙළෙඳපොළට පැමිණෙනු ඇත.
රවි ජයන්ත